ලෝක සෞඛ්‍යය සංවිධානය පෙන්වා දෙන ආකාරයට වසරකට ලොව පුරා ගබ්සා මිලියන 73ක් පමණ සිදු වනවා. සැළසුම් නොකළ සෑම ගැබ් ගැනීම් 10කින් 6ක් (60%) , ඒ වගේම සමස්ථ ගැබ් ගැනීම් වලින් 29%ක් ප්‍රේරිත ගබ්සාවකින් අවසන් වෙනවා.
2020 වසරේදී ලෝක සෞඛ්‍යය සංවිධානය ප්‍රකාශයට පත් කළ අත්‍යවශ්‍ය සෞඛ්‍යය සත්කාර ලැයිස්තුවේ ගබ්සා සත්කාර ඇතුළත් කර තිබෙනවා.
ගබ්සාව හෙවත් ගර්භණීභාවය අවසන් කිරීම යනු සෞඛ්‍යය සේවකයන්ට, ඖෂධ හෝ ශෛල්‍යකර්ම මගින් ආරක්ෂිතව සහ කාර්යක්ෂමව ලබා දිය හැකි සෞඛ්‍යය සත්කාර සේවාවකි.
ඖෂධ යොදා ගෙන සිදු කරන ගබ්සාව (medical abortion) ගැබ් ගෙන පළමු මාස 12 ඇතුළතදී සෞඛ්‍යය සේවා මධ්‍යස්ථාවකින් පිටතදී වුවද (උදාහරණ – නිවසේදී) ගර්භණී ස්ත්‍රියට ස්වයංව කළමණාකරණය කර ගත හැකියි. නමුත් මේ සදහා, නිවැරදි දැනුම, ගුණාත්මක ඖෂධ සහ පුහුණු සෞඛ්‍යය සේවකයෙකුගේ සහය අවශ්‍ය වනවා.
දැනුවත් කිරීම, ගබ්සා කළමණාකරණය සහ පශ්චාත් ගබ්සා ප්‍රතිකාර යන අංග තුනම පරිපූර්ණ ගබ්සා සත්කාර සේවා තුළ අඩංගු විය යුතු වනවා. එවැනි ගබ්සා සත්කාර ඇති රටවල් පිළිබද ඔබට අන්තර්ජාලය හරහා සොයා බැලිය හැකියි. නේපාලය එවැනි ගබ්සා සත්කාර ඇති දකුණු ආසියානු රටක්.
ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් නිර්දේශ කර ඇති ක්‍රමයක් භාවිත කර, නිර්දේශිත කාලය තුළ, පුහුණුවල ලත් සෞඛ්‍යය සේවකයෙකු විසින් සිදු කරනවා නම් ගබ්සාව ආරක්ෂිත සෞඛ්‍යය මැදිහත්වීමකි.
කෙසේ වුවත්, සැළසුම් නොකළ ගැබ් ගැනීම් වලට මුහුණ දෙන සෑම ස්ත්‍රියකටම පරිපූර්ණ ගබ්සා සත්කාර ලැබෙන්නේ නැහැ. ඒ නිසා එවුන් බෙහෝ විට අනාරක්ෂිත ගබ්සා සේවාවන් සදහා යොමු වනවා.
ගබ්සා සදහා ඇති ප්‍රවේශය සීමා කිරීම හරහා ගබ්සා නතර වන්නේ නැති බව සංඛ්‍යා දත්ත දෙස බැලූ විට අපට පෙනී යනවා. ගබ්සාව සම්බන්ධයෙන් ඉතාමත් බරපතල සීමා පනවා ඇති ශ්‍රී ලංකාවේද දිනකට ගබ්සා 600ක් පමණ සිදු වන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.
ගබ්සා සදහා ඇති ප්‍රවේශය සීමා කිරීම හරහා සිදු වන්නේ ගබ්සා සදහා යොමු වන ස්ත්‍රීන්ගේ සහ ගැහැණු දරුවන්ගේ ආරක්ෂාව අවදානමේ හෙලීම පමණයි.
පරිපූර්ණ ගබ්සා සත්කාර නොමැති වීම ස්ත්‍රීන්ගේ සහ ගැහැණු දරුවන්ගේ ජීවත් වීමට ඇති අයිතිය ඇතුළු මානව හිමිකම් ගණනාවක් අවදානමේ හෙළනවා. ලබා ගත හැකි ඉහලම ශාරීරක සහ මානසික සෞඛ්‍යය තත්ත්වයක් ලබා ගැනීමට ඇති අයිතිය, විද්‍යාත්මක දියුණුව හරහා ලැබෙන වාසි ලබා ගැනීමට ඇති අයිතිය, දරුවන් කී දෙනෙක් ලබනවාද, දරුවන් අතර පරතරය සහ දරුවන් ලබන්නේ කවදාද යන්න තීරණය කිරීමට ඇති අයිතිය, කෘෘර සහ අමානුෂික වද හිංසා වලින් සහ දඬුවම් වලින් නිදහස් වීමට ඇති අයිතිය ආදී මානව හිමිකම් රාශියක් ගබ්සා සදහා ප්‍රවේශය නොමැති වාතාවරණයක් තුළ උල්ලංඝණය වනවා.